Pages

Monday, November 15, 2010

වෙසක් සද මඩල 02

බෞද්ධ දර්ශනය යනු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයයි. එය ඇතැමුන් විසින් ආගමක් යැයි හුවා දැක්වීමට උත්සාහ කළ ද ආගමක මූලික ලක්ෂණවලින් ඔබ්බට ගිය ආකාරයක් එහි ගැබ් ව තිබේ.
ඉංග්‍රීසි බසින් ආගම (Religion) යන අදහසට බාහිර ව දර්ශනය (Philosophy) යන තේරුමින් එය හැඳින්වීම වඩා නිවැරැදි ය. එයට හේතුව ඒ දර්ශනය කිසියම් සමාජයක් හෝ ජන සමූහයක් හෝ යහ මඟ යැවීමට තරම් ගැඹුරු වීමයි.
කිසිදු බෙදීමක්, පෞද්ගලිකත්වයක් නොමැති ව ලෝකය දෙස, මනුෂ්‍යයා, සත්ත්වයන් මෙන් ම විශ්වය දෙස දාර්ශනික ව බලා කරන ලද විශ්ලේෂණයක් ලෙස ද බුදු දහම හැඳින්විය හැකි ය.
මෙහි ඉතා වැදගත් අංගයක් වන්නේ සංස්කෘතියයි. එය කොටස් දෙකකි.
1. නාම, එනම් සිතුම් පැතුම් හා මානසික වශයෙන් සලකන දෑ
2. රූප, එනම් භෞතිකව පෙනෙන ගොඩනැඟුණු ‘ශරීරය’ වශයෙනි.
මේ නාම හා රූප යන අංශ දෙක කෙරෙහි ම බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු දහමේ මූලික හරය මෙසේ දැක්විය හැකි ය.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං
මෙහි පළමු වැනි පදයෙන් අදහස් වන්නේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වන්නේ සියලු පාප ක්‍රියාවන්ගෙන් වෙන්වීමයි. එහි සරල අරුත නම් මානසික මට්ටම පහත වැටෙන ක්‍රියාවන්ගෙන් වැළකීම ය. මනසින් උසස් මිනිසුන් යම් ක්‍රියාවකින් පහත වැටේ නම් එයින් වැළකෙන්න යන්නයි.
කුසලස්ස උපසම්පදා - මනස හැකිතාක් දුරට උසස් මට්ටමින් දක්ෂ ලෙස පවත්වාගෙන යෑම ය. එනම් ස්වාභාවික ව අප මනස පුහුදුන් වැරැදිවල යෙදීමට පෙලැඹෙයි. එය දක්ෂ ලෙස වළක්වාගෙන, සිතෙන, සිතෙන දේ කිරීමෙන් වැළකී සිත පාලනය කරගත යුතුයි.
මෙහිදී අප මතක තබාගත යුත්තේ ආහාර, නිද්‍රා භය, මෛථුන්‍ය ආදී පොදු අවශ්‍යතා මිනිසුන්ට මෙන් ම අනෙක් ජීවීන්ගේ ද අවශ්‍යතා වන බවයි. එහෙත් තිරිසනුන් මෙන් වේලාව අවේලාව තැන නොතැන නොබලා කටයුතු කිරීමෙන් මිනිසා වැළකී සිටියි.
ධර්මෝ හි තේ ශාම් අධිකෝ විශේෂා (තිරිසනුන් ආදී සතුන් ගෙන් මිනිසා විශේෂ වන්නේ ධර්මානුකූල ව සුදුසු නුසුදුසුතා බලා ක්‍රියාවේ යෙදීම පාලනය කළ හැකි නිසා ය) වශයෙන් කියා ඇත්තේ එයයි.
පස් පව් සඳහා සිත යොමුවන විට ශීලාචාර බව, ලැජ්ජාව, යුක්ති ධර්මය, සමාජ අපකීර්තිය වැනි දේ නිසා මනස පහත වැටීමට නොදී, පාලනය කර උසස් දේම යොමු කිරීමෙන් කුසල් රැස් කිරීමට යොමුවේ.
සචිත්ත පරියෝ දපනං - මිනිසාගේ සිත සංවරකර ගැනීම බුදු දහමේ මූලික හරයයි. ඒ හරය තහවුරු කිරීම සඳහා දේශනා කළ ඉතා සාධාරණ තර්කානුකූ®ල න්‍යාය නම් හේතුඵල වාදයයි. එසේ ම චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය කර්මය, පුනර්භවය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය මගින් ඒ හරය තවදුරටත් අවබෝධ කර ගැනීම පහසු කරවයි.
විශේෂයෙන් ම මූලික සත්‍ය වූ චතුරාර්ය සත්‍යය මගින් යමක පවතින ස්වරූපය හෙවත් දුඞඛ සත්‍ය ද එයට හේතුව කුමක්ද යන්න සොයා ගන්නා සමුදය සත්‍යය ද, ඒ හේතුව නැති කිරීමෙන් ඇතිවන යහපත් ප්‍රතිඵලය කුමක්ද යන්න නිරෝධ සත්‍යය ද ඒ සඳහා යා යුතු මග හෝ ක්‍රමවේදය ‘මග්ග‘ සත්‍ය මගින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ.
බෞද්ධ දර්ශනය යන්නෙහි වැදගත්කම වන්නේ කෙලෙස් ප්‍රහීන කර නිර්වාණය ලබා ගැනීමට මෙන් ම එදිනෙදා ජීවිතයේ උද්ගතවන ගැටලු නිරාකරණය කර ගැනීමට ඉතාම සුදුසු මාර්ගෝපදේශය එයින් සැපයීමයි.
මෙවැනි උතුම් වූ දර්ශනයක් වසර දෙදහස් පන්සියයකට වැඩි කලක් ථෙරවාදී භික්ෂූන් වහන්සේ විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන ආවේ ඉතිහාසයේ විවිධ යුගවල ඇති වූ විවිධ බලපෑම් හා ගැටලු බෞද්ධ දර්ශනයට ම අනුකූලව අවබෝධ කර ගනිමින් ඒවා විසඳමින් ය. එහි යම් බැරෑරුම් අවස්ථා උද්ගත වූයේ ත්‍රිපිටකයේ ගැටලු සහගත තැන් ඇතැයි ඇතැම් උගතුන් ප්‍රකාශ කිරීමත් සමඟිනි.
සූත්‍ර හා විනය පිටකය පිළිබඳ ඇතැම් ගැටලු ඉදිරිපත් වුව ද, සමස්තයක් ලෙස ගත් කල මුල් බුදු දහම එහි පවතින බව පැහැදිලි කරුණකි. අභිධර්ම පිටකය බුදු දහම තවදුරටත් අර්ථකථනය කිරීමෙන් අපට ලැබුණු සාහිත්‍යයක් ලෙස සැලකිය හැකි ය.
එනිසා ථේරවාදී බුදු දහම පිළිගන්නේ අභිධර්මය යනු බුද්ධ වචනය ලෙස ය. එහි ගැටලු සහගත තැන් බුද්ධ කාලයේ ම විවරණය කොට ඒවා බුදු රජාණන් වහන්සේ විසින් ඇතැම් අවස්ථාවල අනුමත කරන ලද බවට ද සාක්ෂ්‍ය තිබේ.
නිදසුනක් ලෙස සැරියුත් මහ තෙරණුන් ධම්මදින්නා භික්ෂූනින් වැනි අය වෙත ගොස් තමන්ට අපැහැදිලි තැන් අවබෝධ කරගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ විසින් ඇතැම් පිරිස් ඔවුන් වෙත යැවූ බවත් එහිදී කළ විශ්ලේෂණ උන්වහන්සේ අනුමත කිරීමෙන් බුද්ධ වචනය ලෙස තහවුරු වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ. ඒ නිසා ම ඇතැම් උගතුන් ගේ සැකය සාධාරණ ද යන සැකයක් මතුවේ.
එවන් වූ මූලික ත්‍රිපිටකය ඇසුරින් බුද්ධ ඝෝෂ හිමිගේ කාලයේ අට්ඨ කථා, ලියැවුණේ ධර්මය අවබෝධ කරගැනීමට අපහසු අයගේ පහසුව පිණිස ඉතා ම ක්‍රමානුකූ®ල ව කරන ලද විවරණ ලෙසිනි. ත්‍රිපිටකයේ මෙන් ම අට්ඨ කථාවල ද ගැටලු ඇති බව කීව ද බුදුන්ගේ දේශනා අනුව යමින් සැකැසූ දාර්ශනික සාහිත්‍යයක් සහ ඒ දර්ශනය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමෙන් ගොඩනැගුණු සමාජ සංස්කෘතික ලක්ෂණ පිළිබඳ තොරතුරු ද එහි ඇතුළත් වේ.
ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසින් පසු ව මෙය නිර්මාණය වුණු අටුවා, ප්‍රකරණ, ටීකා සහ ඒ ආශ්‍රිත ව පාලි භාෂාව ඇසුරින් පෝෂණය වූ සාහිත්‍යයක් ද විය. එක් අතකින් පැහැදිලි දහමක් ද අනෙක් අතින් ඒ දහම ඇසුරින් සුපෝෂිත දියුණු සමාජයක් ද අපට ලැබුණේ එමඟිනි.
ඒ සංස්කෘතිය සරල ව ම තේරුම් ගත හැක්කේ වැවයි - දාගැබයි යන්නෙනි. ‘වැව‘ යනු භෞතික දියුණුවයි. එනම් ලෞකික සශ්‍රීකත්වයයි. ‘දාගැබ’ යනු ආධ්‍යාත්මික සශ්‍රීකත්වයයි. අපේ සමාජය තුළ ලෞකික මෙන් ම ආධ්‍යාත්මික සශ්‍රීකත්වය පැවැතුණු බවට ඇති හොඳ ම සාධකය ද එයයි.
1505 න් පසු පරදේසක්කාරයන් බුදු දහමට විවිධ බලපෑම් තර්ජන එල්ල කළේ ද සත්‍යාවබෝධය නිසා හික්මුණු මනසින් යුත් අපේ සංස්කෘතියේ ලක්ෂණ වූ ශීලාචාරකම, ඒකීයත්වය සහෝදරත්වය ඔවුන්ගේ පාලනයට මහත් බාධාවක් වූ නිසා ය. කෙසේ වෙතත් එවක රටේ බිහිවුණු ගිහි පැවිදි පිරිස මේ තත්ත්වයෙන් රට ගොඩගන්නට මහත් සේ කැපවුණු බව ද නොකියා ම බැරි ය.
එසේ බේරාගත් අපේ මෙන් ම ලෝකයේ උරුමයක් වූ බෞද්ධ සංස්කෘතියට නූතනයේ එල්ල වී ඇති බලපෑම විටෙක එදාටත් වඩා දරුණු යැයි සිතිය හැකි ය. ඊට පළමු වැනි හේතුව වන්නේ ඒ ඒ ආගම්වලට අද තම තමන්ගේ අනන්‍යතාව රැක ගැනීමට නොහැකි ව පසුවීම යි.
වසර දහස් ගණනක් අඛණ්ඩ ව ආරක්ෂා කරගත් දර්ශනය හා සංස්කෘතියට, එමෙන් ම ලොව ම පිළිගන්නා පුරාවිද්‍යාත්මක සාධක, සාහිත්‍යය හා ඉතිහාසාත්මක සාධක මෙන් ම ත්‍රිපිටකය වැනි ලිඛිත සාධකවලට අද අභියෝග එල්ල කරන්නේ අපේ ම පිරිස් වීම මෙහි කනගාටුවට කරුණයි.
එමඟින් සාමාන්‍ය ජනතාව තුළ ඇති කිරීමට උත්සාහ කරන සැකය මගින් බෞද්ධ දර්ශනය කෙරෙහි ඇති ගෞරවය හීන කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. බුද්ධ දේශනය හා අභිධර්මය පිළිබඳ නිවරැදි දැක්මක් නැති අර්ථකථන සැපයීමෙන් ඇතැම් පිරිස් ඒ බව සනාථ කිරීමට උත්සාහ දරයි.
නිදසුනක් ලෙස ‘අසපු’ යනු පෙරදිග සංස්කෘතියේ හින්දු ක්‍රමය අනුව සංගීත, වෛද්‍ය, ආදී බෞද්ධ නොවන යම් ලෞකිකත්වයක් තුළ රැඳුණු ආකල්පයකි. පන්සල හා සම්බන්ධ වන්නේ පන්නසාලා, විහාර ආරාම, පරිවේණ ආදිය වේ.
ඒ හැරුණු කොට මෙතෙක් බෞද්ධ සංස්කෘතිය තුළ බුදුන්ගේ කාලයේ හෝ අටුවා කාලයේ හෝ 20 වැනි ශත වර්ෂය දක්වා ම බෞද්ධාරාමවලට අසපු යන්න භාවිත වී නැත. එය සොයා කළ පර්යේෂණවලදී හමු වූයේ The word is not found anywhere in the cannon. යනුවෙනි. එනම් බෞද්ධ අර්ථථයෙන් භික්‍ෂුන් වහන්සේ හට අසපු නැත. එය වෙනස් වූ සංස්කෘතියක වින්දනාත්මක පැතිකඩක් පමණකි.
නමුත් පන්සල තෙරුවන් වැඩි තැන් ය. ආරාම, අධ්‍යාත්මයට ඇලෙන තැන් ය. විහාර, තෙරුවන් වැඩ සිටින, සරලත්වය අගයන, සිත හික්මවීමට මෙහෙය වන තැන් ය.
දෙවැනි කරුණ නම් මෙතෙක් පැවැති බෞද්ධ සංස්කෘතියේ ඇතැම් සිරිත් විරිත්, දානමාන පින්කම්, පිරිත් පින්කම්, ධර්ම දේශනා, සත් දවසේ දානය, අට පිරිකර පූජාව ආදිය පිළිබඳ ඒ පැවැති සංස්කෘතික රාමුවෙන් බොහෝ ඔබ්බට ගොස් විවේචනය කරමින්, එයට වාණිජ අරමුණු සපයමින් ජනපි‍්‍රය කරවීම ය.
තෙවැනුව පිරිත් දේශනය පිළිබඳ ජනතාව තුළ ඇති කිරීමට උත්සහ ගන්නා වැරදි මතයයි. පිරිත යනු බුද්ධ ධර්මයේ ඇතැම් සූත්‍ර දේශනා ගෙන ඒවා නිසි ලෙස ශබ්ද උච්චාරණය කරමින් ස්වර ව්‍යංජන යම් රිද්මයකට හසුරුවමින් මෛත්‍රියේ බලය හා සත්‍යයේ බලය ගොඩනැඟීමයි.
එය පාලි භාෂාවෙන් කරන ලද ක්‍රමානුකූල බන්ධනයකි. එහි බණ වරක අකුරු 8000 බැගින් බණවර හතර සඳහා අකුරු 32000 ක් නිශ්චිත ව ම ගණ පිහිටවා ඡන්දස් අලංකාරවලට අනුව ගොඩනැඟූ සාහිත්‍යයකි.
එවන් වූ වටිනා පිරිත අද ක්‍රම දෙකකින් “බාල්දු” වෙමින් පවතී. පළමුවැන්න පිරිතට සංගීතය සැපැයීමයි. මෙය ලෝක විනාශයක් බඳුයැයි කීවද නිවැරදි ය. හේතුව සංගීතය හා පිරිත යනු ආකාර දෙකකින් බැලිය යුතු අංශ දෙකක් වන නිසා ය. පිරිතෙන් මනස එක් ආකාරයකින් පාලනය කෙරේ. එයට සංගීතය මුසු කිරීම යනු පිරිතේ නිර්මලත්වය පළුදු කිරීමකි.
දෙවැනි ව පාලිය ළාමක වචනවලට යොදමින් සිංහලෙන් පිරිත් කීම ය. එමඟින් සිදු වන්නේ පිරිතකින් ලැබිය යුතු ප්‍රතිඵල නොලැබී යාමයි. මෙහිදී අවධාරණය කළ යුත්තේ අප කුමනාකාරයේ නව නිර්මාණයක් කළ ද යම් දෙයක මූල බීජයට හානි නොකළ යුතු බව ය.
තවත් ආකාරයකින් බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට ගන්නා උත්සාහයක් ලෙස දැකිය හැක්කේ මෙතෙක් පන්සලෙන් පිටත්වන බෞද්ධ පෙරහැර වෙනුවට බෝධි සත්ත්ව පෙරහැර, මාතෘ පෙරහැර, දේව පෙරහැර ආදිය උත්සව ශ්‍රීයෙන් පිටත් කිරීමයි.
අදටත් අපේ පන්සලකින් පිටත්වන පෙරහැරක මූලිකත්වය දිය යුත්තේ බුදු රජාණන්වහන්සේට ය. බුදුන් බුදුගෙයි තබා දෙවියන් පෙරහැරේ වැඩමවන රටක් බවට ක්‍රමයෙන් පත්වීම බෞද්ධ සංස්කෘතියට මහත් හානියකි.
එසේ අවශ්‍ය නම් කළ යුත්තේ දළදා පෙරහැරේ මෙන් මූලික ගෞරවය නිසි ලෙස බුදු හිමියන්ට ලබාදී පසුව දෙවිවරුන් පෙරහැරට එක් කිරීමයි.
මව්වරුන්ට සැලකීම පිළිබඳ ඉතා නිවැරදි ව දක්වා ඇත්තේ බුදු දහමේ ය. එය “මරිය මාතා” උත්සවයක් මෙන් ජන මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කරමින් අපේ සංස්කෘතිය ක්‍රමයෙන් වෙනස් කිරීමට දරන උත්සාහය ද නුසුදුසු එකක් වග සැබෑ බෞද්ධයෝ පිළිගනිති.
ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයට සිදු ව ඇත්තේ ද එවැනි ම අකටයුත්තකි. බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමිපාණන් වැලිවිට සෝරත ස්ථවිරයන් වැනි පණ්ඩිත හාමුදුරුවරුන් පනස් නමක් පමණ වසර 32 ක් පුරා මහන්සියෙන් කරන ලද සංස්කරණය පිරිසිදු සිංහල සහ ධර්මය අඩංගු කර තිබියදී ඇතැම් අය තමන්ට වැටහෙන පරිදි අභිධර්මය පවා පරිවර්තනය කිරීමට පෙලඹී තිබේ.
බුදු රජුන්ගේ කාලයෙන් පසු විවිධ නිකාය ඇතිවීමට ද හේතුව මෙවැනි ම විවිධ වූ අර්ථකථන ධර්මයට ලබා දීමයි. කෙසේ වුවද අද වනවිටත් වාසනාවකට මෙන් මෙරට නිකාය භේදය විහිලුවක් පමණක් වී තිබේ.
කනගාටුවට කරුණ නම් වර්තමානයේ ද එදා මෙන් නිසරු අර්ථකථන නිසා දර්ශනය විකෘති වීමේ තත්ත්වයකට මග පෑදීමයි. එයින් සිදුවන තවත් විශාල හානියක් වන්නේ බුදු දහමෙන් පෝෂණය වන අපේ සාහිත්‍යය ආදී අංග ද විකෘති අයුරින් ගොඩනැඟීමට ඇති ඉඩකඩ වැඩිවීම ය.
ආගමික අනන්‍යතාව රැක ගැනීම ඒ ඒ ලබ්ධිකයන් විසින් නිසි අවබෝධයෙන් යුතුව කළ යුත්තකි. බෞද්ධයන් අන්‍ය ආගමික සංස්කෘතීන් “කොපි” නොකළ යුතුවාක් මෙන්ම අනන්‍යයන් ද බෞද්ධ සංස්කෘතිය අනුකරණය කිරීමෙන් සිදුවන්නේ අදාළ ආගමික සංස්කෘතික වටිනාකම් බිඳ වැටීමයි.
මූලික ආගම්වල පිරිස් පවා මේ සිදුවීම හෙළා දකිනු නියත ය. එයට හේතුව ඒ ඒ ආගම් නිසා ඇතිවූ සමාජ සංස්කෘතීන් හා ඒවා උරුම කරගත් භාෂා ලක්‍ෂණ, වචන, සාහිත්‍යය ආදිය වෙනස්වීම නිසා තම අනන්‍යතාවට හානි වීමයි.
වෙසෙසින් ම බොදු සමාජයේ බිහිවන බොහෝ ගද්‍ය පද්‍ය ආදිය පමණක් නොව සිතුම් පැතුම්වල පවා, උපතේ සිට මරණය දක්වා ම බෞද්ධ දර්ශනය හා බැඳුණු සිරිත්විරිත්වල බලපෑම දක්නට ලැබේ.
ඒ සාහිත්‍යය තුළ ශාස්ත්‍රිය පැතිකඩ මෙන් ම ඉන් බාහිර වූ ජන ජීවිතය පවා හෙළි කරයි. නමුත් සාහිත්‍යයේ පවා අද යම් පසුබෑමක් වේ නම් එයට හේතුව ද අපේ සමාජ සංස්කෘතියට එල්ල වූ බලපෑම් හා විකෘති කිරීම් යැයි සඳහන් කිරීම වරදක් නොවේ.
ඒ සංස්කෘතිය කෙතරම් වටනේ ද යත් අපේ ඇත්තන් අත්තනෝමතික ව ක්‍රියා කරන අතර බටහිර සමාජය බෞද්ධ දර්ශනය හා අදාළ කරුණු තම ජීවිතයට අදාළ කර ගැනීමට දරන උත්සාහය සතුටුදායක මට්ටමින් වර්ධනය වී තිබේ.
මෙවැනි තත්ත්වයක් ඇති ව තිබෙන්නේ බෞද්ධාගමික සංස්කෘතිය තුළ අන්‍යාගම් පහත් සේ සැලකීමක් හෝ හෙළා දැකීමක් සිදු නොවීමයි. ආගමික සහනශීලීත්වය ඉහළින්ම පවතින දර්ශනය බෞද්ධ ධර්මය ලෙස පැවැසීමේ කිසිදු වරදක් නොවේ.
එනිසා ම බරපතළ සංස්කෘතික ගැටුමක් ඇති කරමින් බෞද්ධ දර්ශනය හා බැඳුණු සංස්කෘතියට එල්ල කිරීම මාන බලන බලපෑම මර්දනය කිරීම සඳහා සැබෑ බෞද්ධයන් පෙළගැසිය යුතු කාලය එළැඹ ඇත.

No comments:

Post a Comment