Pages

Wednesday, November 17, 2010

සයිමන් නවගත්තේගමයන්

පස් වසරකට ඉහතදී ඔක්තෝම්බර් මස 12 වන දින ගොම්මන් කළුවර ගෙවී යමින් තිබුණු හෝරාවයි. වැහි බීරුම දසත වෙළා ගනිමින් විටෙන් විට මඳ වැසි පතිත වෙමින් බොරැල්ල කනත්ත තෙත බරිත කරමින් තිබුණි.හෙළ සාහිත කෙත අස්වැද්දූ දැවැන්ත යුග පුරුෂයෙකුගේ නික්ම යාමේ අවසන් මිනිත්තු කිහිපයද අතීතියට එකතු වූ පසු අපි යළි එන්නට හැරුණෙමු.මඳ වැස්සේම තෙමෙමින් කනත්තේ ගේට්ටුව ළඟට දිව ආ අප අසල සුදු පාට වෑන් රථයක් නතර විය.අද මෙන් සුදු වෑන් භීතියක් පැතිර ගොස් නොතිබුණු ඒ යුගයේ කිසිදු බියක් හෝ චකිතයකින් තොරව අපි ඊට ළංවීමු.

"ළඟම තියෙන බාර් එකට ගිහින් දාන්න..අද වගේ දවසක හිත උණුසුම් වෙලා තියෙද්දී ඇඟ උණුසුම් නොවුණොත් ඒක සයිමන්ට කරන මදිකමක්"

ඒ හඬ අජිත් සමරනායක නම් තවත් මිනිසෙකුගේය.ඔහුද පසු කලෙක අප හැර ගියේය.කෙසේ වුවත් බොරැල්ලේ සුප්‍රසිද්ධ අවහන්හලට වී මධුවිත තොලගාමින් සයිමන් නවගත්තේගම නම් අද්විතීය නිර්මාණකරුවාගේත්,සොඳුරු මිනිසාගේත් නික්ම යාමේ වේදනාබර මතකය සමග දොඩමළු වූ අප එතැනින් එළියට බැස්සේ වාර්ෂිකව සයිමන් ගේ නිර්මාණ හා ඔහු පිළිබඳ විද්වත් කතිකාවක් සංවිධානය කිරීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙනය.ඒත් වාසනාවකට හෝ අවාසනාවකට අප අතින් හෝ වෙනයම් සහෘද පිරිසකගෙන් හෝ සිදුනොවූයේද එයමය.එදින අප සමග සිටි ඇතැමුන් අද ජීවතුන් අතර නැත.තවත් සමහරුන් තමන්ගේ මරණ වරෙන්තුව ලියවෙන වග දැනෙද්දී මව්බිමේ දේශ සීමාව පසුකර ගොසිනි.ඉතිරි වූ අතේ ඇඟිලි ගාණටත් අඩු පිරිස් වලට අකමැත්තෙන් වුව හරි හතරැස් ජීවිත වලට ලඝු වන්නට සිදුව ඇත.කාලය වසර 5 ක් වැනි කෙටි කාලයක් වුවද එකී වසර 5 තුළ අප පය ගසා සිටි ‍පොළොවේ ආර්ථික,සමාජීය,සංස්කෘතික හා විශේෂයෙන්ම දේශපාලන භූ සිතියම අලුතින් අඳින්නට තරම් වෙනසක් සිදුව ඇත.සයිමන් අද සිටියා නම්...?බොහෝ විට එසේ නොසිතෙනවා නොවේ.සයිමන් රෝගාතුර වී සිටි අවසාන භාගයේ ඔහු හා ඔහුගේ නිර්මාණ පිළිබඳ යම් කතා බහක් කොළඹ කේන්ද්‍රීයව සිදුවිය.කෙසේ වුවද සයිමන්ගේ නික්මයාමෙන් ඉක්බිතිව ඔහු ගැන දැනෙන යමක් සිදුවූයේ වීනම් ඒ කේ.කේ සමන්කුමාර විසින් සම්පාදන කරන ලද "සිංහල ජාතියේ වංශකතාව,සංසාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම"යන කෘතිය පමණි.සිද්ධාන්තමය වශයෙන් යම් යම් අඩුලුහුඬුකම් තිබියදී වුව සමන් කුමාර විසින් දැරූ පරිශ්‍රමය සයිමන්ගේ නව කතා සාහිත්‍යයට කදිම අටුවාවක් බැව් අවිවාදිතය. 

සයිමන් නවගත්තේගමයන් 60-70-80-90 යන දශක හතරක පමණ කාලයක් නිර්මාණ ජීවිතය තුළ සැරිසැරූවෙකි.90 දශකය තුළ ඔහු ගේ නිර්මාණාත්මක දිවිය අර්බුදයට ගොස් හිස් ගඩොලක් බවට පත් වු බවට ඇතැමුන් තර්ක කරන්නේවී නමුදු නිර්මාණ කරුවෙකු ලෙස ඔහු තැබූ සටහන කිසිවෙකුටත් මකාදැමිය හැකිනොවේ.ඔහු නවකතාකරුවෙකු පමණක් නොවේ.කෙටිකතා කරුවෙකු,නාට්‍යකරුවෙකු,චිත්‍රපට තිරනාටක රචකයෙකු,ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකුයෙකු,විචාරකයෙකු,පරිවර්තකයෙකු,ලෙසද නමක් තැබූවෙකි."මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව,සාගර ජලය මදි හැඩුවා නුඹ හන්දා,බාවනාව,සාංකාව වැනි කෙටි කතා සංග්‍රහයන් සයිමන් අතින් ලියැවුණු අතර"බාවනාව"ට 1991 වසරේ රාජ්‍ය සම්මානයත්,ස්වාධීන සාහිත්‍ය සම්මානයත් හිමිවිය."සාංකාව"කෙටිකතා සංග්‍රහයටද වසරේ ස්වාධීන සාහිත්‍ය සම්මානය හිමිවිය.එසේ වුවද කුමක් හෝ හේතුවකට කෙටිකතා කරුවෙකු ලෙස ඔහු මා සිත් නොගත්තේය. 

ඔහුගේ නිර්මාණ තුළ යථාර්ථවාදී ,අධි යථාර්ථවාදී ,ඉන්ද්‍රජාලික යථාර්ථවාදී,සාංදෘෂ්ටිකවාදී,ස්වභාවිකවරණවාදී ,සංශයවාදී,ශුන්‍යතාවාදී ස්වරූපයන් විටෙන් විට ස්පර්ශවනු දැකිය හැකිය.ඉතිහාසය පිළිබඳ සයිමන් තුළ වූ දැනුම,ආදිකල්පික මිථි්‍යාවන්,ජන ශ්‍රැතිය පිළිබඳ වූ ගැඹුරු කියවීම්, ලාංකීය ජන විඥානයේ සංකීර්ණත්වය පිළිබඳ දැක්ම මහායානික බුදු දහමේ ඉගැන්වීම් තුළින් කළතා ඉදිරිපත් කරන්නට හෙතෙම ඉතා සූක්ෂ්ම විය.සයිමන්ගේ නිර්මාණ තුළින් විදාරණය වූ දිග, පළල හා ගැඹුර ඔහු ගේ රස්තියාදුවට සමපාත විය.රැකගන්නට වාමාංශික කන්‍යාභාවයක් නැති ඔහු වාමාංශිකයෙකු වන අතරම අන්ත දක්ෂිණාංශික ව්‍යාපෘතිවල ඒජන්තයෙකු විය.සෝවියට් සමාජ යථාර්ථවාදියෙකු ලෙස පෙනී සිටින අතරම අනෙක් පසින් ඉතා ලිහිල් චර්යාවකින් යුතු බොහීමියන්වාදියෙකු විය.ඇත්ත පුවත්පතට විචාරාත්මක ලිපි ලියූ ඔහු(පසුව එය සාහිත්‍යය,කලාව හා සමාජවාදය නමින් කෘතියක් බවට පත්විය.)එකී පෑන් තුඩින්ම"බුද්ධිය,ප්‍රඥාව හා ශුන්‍යත්වය"ගැන ද ලිවීය.සමාජ වෙනසක් වෙනුවෙන් අපේක්ෂාව පෙරදැරි කරගත් දේශපාලන කණ්ඩායම් වලට මහඟු කෘතියක් ලෙස සැලකෙන ෆවුලෝ ෆෙරේරේ ගේ (paulo preire)Padagogy Of the Oppressed කෘතිය "සංවාදය සංවිධානය සහ විප්ලවය "නමින් සිංහලට පරිවර්තනය කළ ඔහු ප්‍රේමදාස යුගයේ"ජනසවිය"ව්‍යාපෘතියේ රාජ්‍ය නිලධාරීතන්ත්‍රයේ මෙහෙයුම් නිලධාරියෙකු හා චන්ද්‍රිකා යුගයේ"සමෘද්ධි"ව්‍යාපෘතියේද මෙහෙයුම් නිලධාරියෙකු විය.ප්‍රේමදාස ආණ්ඩුව යටතේ මාළිගාවත්තේ පිහිටුවා තිබූ කාර්යාලයකට හිමිකම් කියූ සයිමන් නවගත්තේගම පැල්පත් වාසී දරුවන් හා අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට වේදිකාවක් තනාදීමට ද උත්සුක විය.වේදිකා හා රූපවාහිනී නාට්‍ය කිහිපයක් එළිදැක්වුණු අතර "සරු දවසක්"වැනි නාට්‍යයන් හුදු වාර්තාමය ස්වරූපය අභිබවා ගිය බව ජනසවිය කොමසාරිස්වරයාව සිටි සුසිල් සිරිවර්දන සඳහන් කර තිබිණි.මෙකී අඩු ආදායම් ලාභී පවුල් හා දරුවන් අතර සැරිසැරූ අත්දැකීම්"භාවනාව"හා"කාංසාව"යන කෙටි කතා සංග්‍රහයන්ට අත්දැකීම් වූ බව සයිමන් ම පවසා තිබේ.චන්ද්‍රිකා යුගයේ සමෘද්ධියේ උපදේශක වූ සයිමන් නවගත්තේගමට හැඳල ළමා නිවාසයේ උඩුමහලේ කාමරයක් ලබා දී තිබුණි.එකී කාමරයේ නවාතැන් ගෙන සිටි යුගයේ"සුද්දිලාගේ කතාව"ලියා හමාර කළ බව සයිමන් සමීපතමයන්ට පවසා තිබුණි. 

ඔහුගේ දෙවෙනි කෙටි කතා සංග්‍රහය වූ"සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා"කෘතියේ එන ඇතම් කෙටිකතා වල කෆ්කාගේ ආභාසය දැකිය හැකි අතරම ඔහුගේ මූල් නාට්‍ය නිර්මාණයන් වූ"ගංඟාවක්,සපත්තු කබලක් හා මණයක්,පුස් ලෝඩං,ගඟන සරණ කුරුල්ලනේ"වැනි නාට්‍යවල විකාරරූපී භාවය මනාව ගම්‍ය වේ."කසිප්පු කාරයෝ"ඔහු මළ පසු"වැනි මුල් කාලීන කෙටිකතා තුළින් යථාර්ථවාදී ලෙස තමන් උපන් වන්නිය කියවීමට ලක් කළ සයිමන් පසු කාලීනව සංසාරණ්‍යයේ දඩයක්කාරයා මුල් කරගත් නව කතා මාලාවෙන් එකී කුමාර වන්නි හත්පත්තුවම අධි යථාර්ථවාදී,අධි සත්තාවාදී,ඉන්ද්‍රජාලික යථාර්ථවාදී මානයකට කැඳවාගෙන යයි.සයිමන්ට ඉන්ද්‍රජාලික යථාර්ථවාදියෙකු ලෙස හැඳින්වීම ඇතැම් විචාරකයින්ට රිසි වූයේ නැත.සයිමන්ද ඇතැම් විටෙක"මං දන්න ඉන්ද්‍රජාලයක් නෑ ඕයි..මට දැනෙන දේ මට හිතෙන විදිහට ලියනවා..මං ලියන්නේ විනෝදෙට"යයි පවසනු මා අසා ඇත.එහෙත් එය සත්‍යයක් වරදක් නොව අර්ධ සත්‍යයක් බැව් මගේ හැඟීමයි.ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ මූලාරම්භක කෘතියක් ලෙස සැලකෙන ගාර්ෂියා මාකේෂ්ගේ"සියවසක හුදකලාව"කෘතිය පවා ඉන්ද්‍රජාලික යැයි මාකේෂ් වුව නොපිළිගනියි.එය එසේ යයි අර්ථදක්වන්නේ විචාරකයින් පමණි."සියවසක හුදකලාව"වුව යථාර්ථවාදියෙකුට එය ලතින් ඇමරිකාවේ ඉතිහාසය ලෙස යථාර්ථවාදී මානයකින් කියවිය හැකිය.සයිමන්ගේ කෘතීන්ද එසේමය.ඒවා යථාර්ථවාදීන්ට තමන්ගේ කෝවේ බහාලන්නට හැකියාවක් ඇත්තා සේම ඉන්ද්‍රජාලික යථාර්ථවාදීන්ට තමන්ගේ කෝවේ බහාලන්නට හැකියාවක් ලැබේ.එහෙත් වඩා සැලකිය යුතු කාරණය වන්නේ කාගෙ කාගෙත් කෝවේ බහාලන්නට තරම් පොහොසත් කමින් යුතුව හරි හතරැස් නොවුණු විශිෂ්ට නිර්මාණ බිහි කරන්නට සයිමන්ට තිබූ සුවිශේෂී හැකියාවයි.ඒ හැකියාවට පසුබිම උදා කර දී තිබුණේ වම-දකුණ,ගම-නගරය,පුහු සදාචාරය-සලෙලුකම/බීමත්කම,ව්‍යාජ දේශප්‍රේමිත්වය-නිදහස/ශුන්‍යත්වය ආදී කිසිදු සීමාවක තමන්ගේ සීමාව සලකුණු කර නොගනිමින් ඒ සියල්ල විනිවිද ගිය තමන්ගේම වූ රස්තියාදුවකින් ලැබූ පොහොසත්කමයි. -

සයිමන් නවගත්තේගම විසින් ලියැවුණු සංසාරණ්‍යයේ දඩයක්කාරයා,දඩයක්කාරයාගේ කතාව,සංසාරණ්‍යයේ උරුමක්කාරයා,සාපේක්ෂණී,ක්ෂීර සාගරය කැළඹිණි,සංසාරණ්‍යය අසබඩ ආදී සෑම කෘතියකටම පාහේ වැඩබිම වී ඇත්තේ කැලෑවයි.එහෙත් එය හුදු කැලෑවක් නොව සමාජීය වූ කැලෑවකි.සමකාලීන ජන ජීවිතය හා බැඳුණු සංකීර්ණත්වය වඩ වඩාත් විදාරණය කරනු පිණිස එසේත් නැතිනම් සමකාලීනත්වය විසින් සලකුණු කළ සීමා ජයගනු පිණිස පුරාණ කතාවක් ලෙස වර්තමානය ප්‍රකාශමාන කිරීමකි. "ඉතා ඈත පුරාණයේ අපේ නවගත්තේගමට සොළොස් ගව්වකට එහා පැත්තේ දඩයක්කාරයා වාසය කළේය.ඒ හරියට කීවේ මුල්ලේගම ගල්කන්ද කියාය.මුල්ලේගම ගල් කන්දේත්,ඒ කන්ද අවට ගන වනාන්තරයේත් දඩයක්කාරයා වාසය කළේය"

(සංසාරණ්‍යයේ දඩයක්කාරයා-01 පිටුව)

ශිෂ්ටාචාරය ඉදිරියට ගෙන ගියේද,පන්සලේ හාමුදුරුවන්ගේ ආරක්ෂාවට හිටියේද දඩයක්කාරයාමය. අප මෙන්ම සයිමන්ද දඩයක්කාරයාට බෙහෙවින් ඇලුම් කළේය.සයිමන් සහභාගී වූ අවසන් සාහිත්‍ය කතිකාව ලෙස ගිණිය හැකි"අප්පුහාමිලාගේ වැඩක්"ලෙස සංවිධානය කෙරුණු සුදර්ශියේ නුග ගහ යට කතා බහ ඊට කදිම නිදසුනකි.රෝහලේ සිට සේලයින් හා සිරින්ජර් කටු ද දෙඅත්වල තිබියදී පැමිණ කේ.කේ ගේ කතාවේ"කිසිදු කලෙක විශ්ව සාහිත්‍යයට එක සයිමන් කෙනෙකු තබා සයිමන්ගේ මයිලයක්වත් හදන්නට බෑ"යි කියන විට තමන්ගේ මුහුණු ප්‍රහර්ශයෙන් ආලෝකමක් කර ගත් සයිමන් දඩයක්කාරයාගේ අතට තුවක්කුව ලැබුණු ආකාරය පිළිබඳ අරවින්ද හෙට්ටිආරච්චි හා ‍බාල්දියක් ඇද ගත්තේය.

"මොනවද ඕයි..මේ යකා කියන්නේ..තුවක්කුව...?"දිගින් දිගටම සයිමන් කළ බාධා හමුවේ අරවින්දට සිය දේශනය අතරමග නවතන්නට සිදුවිය.සයිමන්ගේ බාධාව ආචාරධාර්මික නොවූවද ඒ ඔහුගේ හැටිය.මන්ද යත් ඔහු සයිමන් නවගත්තේගමම වන නිසාය.කරුවලගස් වැව ප්‍රාදේශීය ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාරගේ හඬින් කියතොත්"මුල්ලේගම කන්දට වඩා ටිකක් ලොකු මිනිහෙක්...දඩයක්කාරයාව සිය දහස්වතාවක් ඇස ගැටුණු මුල්ලේගම කන්දට වඩා ඔහු උත්තුංගය". 

සයිමන් නවගත්තේගමගේ මාහැඟි දේශපාලනික ප්‍රබන්ධය ලෙස මා දකින්නේ"සාපේක්ෂණී"කෘතියයි.එය 70 දශකයේ සිට 90 දශකය දක්වා ශ්‍රී ලාංකීය ක්‍රම විරෝධී දේශපාලනයට කදිම අටුවාවකි.වාමාශිකයින්ගේ කුහකභාවයන්,වීරයන්ගේ අංගජේදනය කිරීම(සංකේතීය වශයෙන්)නොතකා හළ ස්ත්‍රීයගේ පෙනී සිටීම ඉතා ගැඹූරින් ස්පර්ශ කරන්නට සයිමන් එහිදී සමත්වන බව නොකිවමනාය."ක්ෂීර සාගරය කැළඹිණි"මෙන්ම"සංසාරණ්‍ය අසබඩ "වැනි කෘතියක් ජීවිතයේ දිග පළල මනින්නට හෝ සමාජයේ පත්ළ ස්පර්ශ කරන්නට දරන වෑයම කෙතරම්ද යන්න සලකා බලන්නට වෙනම කතිකාවකට යා යුතුය.ඒ සඳහා හොඳම කාලය හා අවකාශය උදා වී ඇතැයි හැඟේ. 

මෙම නවකතාවල අන්තර්ගතය තුළ විද්‍යමාන වන මහායාන බුදු දහ‍මේ ලක්ෂණ පිළිබඳ අවධාරණය කරන ඇතැමුන් සයිමන්ගේ භාවිතය මෝස්තරවාදී ආවේශයක් බැව් පෙන්වාදෙන්නට උත්සාහ දරන ලද අවස්ථාවන්ද නැතුව නොවේ. එසේ වුවද සයිමන්ට තමන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවරදි තක්සේරුවක් තිබුණු බව ඔහුගේම අදහස් දැක්වීම් වලින් ගම්‍ය වේ.සයිමන් මෙසේ කියයි.

"එක එක නිර්මාණකරුවාගේ දර්ශනය හැටියට විවිධ රීතීන් බිහිවෙනවා.ඒවා එකිනෙකට සන්සන්දනය කිරීමෙන් කිසියම් බුද්ධි ප්‍රබෝධයක් ඇතිවෙනවානම් ඒක සංවාදයට පාත්‍රවීමේ වරදක් නැහැ.එහෙම සංවාදයක් ගෙනියන්න ඕන..ඒත් මගේ කෘතියෙන් සිංහල බෞද්ධ උරුමයට පහරවදින බව සමහරු ප්‍රකාශ කරනවා.මේක මහ බොරුවක්.අපි ථේරවාදයට කොටුවෙලා හිටියට අපේ දර්ශන ඉතිහාසය දිහා බැලුවම සෘග්වේද යුගයේ සිටම වේදාන්ත දර්ශනය,මහායාන සම්ප්‍රදාය දැකගන්න පුළුවන්.සිංහල බෞද්ධ ථේරවාද කිව්වට අපි මේ සියල්ල උරුම කරගත්තු පිරිසක්.අධිරාජ්‍යවාය මගිනුත්,අරාබි වෙළෙන්ඳන් මගිනුත් අපිට ලෝකයේ සියලුම චින්තාවන් උරුමවෙලා තියෙනවා..." (2005-ඔක්තෝම්බර්-11 දිනමිණ)

සයිමන් ගේ එකම යොවුන් කතාව වන"හිමාල කන්ද තරණය කළ අර්ජුන කුමාරයාගේ කතන්දරේ"යොවුන් පරපුරට වඩා අද දවසේ වැඩිහිටි පරපුරට වඩාත් වැඩදායි වන යළි කියවිය යුතු කෘතියකි.එහි අර්ජුන කුමාරයා සිංහාසනය කරා රැගෙන එන ප්‍රධාන සෙන්පතියා වන යෝධයා ට තමන්ගේ කාර්ය භාර්යය නිමා වූ මොහොතේ ජීවිතයෙන් සමුගන්නට සිදුවන්නේ තමා අරගල කළ සතුරු විමානය තමන්ගේ අරගලයෙන්ම තමන් හිසමත කඩා වැටීමෙනි.ඒ අයගේ ඉරණම ලියැවී තියෙන්නේ එහෙමයි.නායකයන් නායකත්වය කරා රැගෙන ඒ මෙන් පසු තමන් තවදුරටත් වලංගු නොවේ.අප කැමති වුවද අකමැති වූවද ඉරණම එයම වීනම් විඳගැනීම විසින් අපට යමක් පසක් කරනු ඇත.ඉතිරිවනු ඇත්තේද එයයි. සෙවලෝද් මෙයර්හෝල්ඩ් වරෙක මෙසේ ලිවීය."ආකෘතිවාදය දඩයම් කිරීමට යාමෙන් ඔබ කලාව අන්තෘස්ධාන කර ඇත."සයිමන් අප හැරගොස් පස් වසරකට පසු ඔහුව ආකෘතිවාදයට හිර නොකොට යළි දෙපයින් සිටුවීමට වෙර දැරීම හෙට දවසේත් මේ ගමන් මගේ ඇවිද එන බොහෝ දෙනෙකුට කදිම මං සලකුණක් වනු ඇත.මන්ද යත් සයිමන් නවගත්තේගම යනු මගහැර යා නොහැකි පහන් කණුවක් වන නිසාමය.අද දවසේත් හෙට දවසේත් අපගේ නොමද ගෞරවයට ඔහු පාත්‍රවනුයේ ඔහුගේ නිර්මාණ තුළින්ද සැබෑ ජීවිතය තුළින්ද අපට දායාද කළා වූ සංස්කෘතික පොහොසත්කම නිසාවෙනි.

5 comments: